මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් හුවමාරු කළ සිම්පතේ හිමිකරු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 24,921,537ක මුදලක් ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ බැර වූ දුරකථන සිම්පතේ ලියාපදිංචි හිමිකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් 27 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය.
අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් හුවමාරු කළ බවට සැක කෙරෙන හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, එම බැංකු ගිණුම හරහා රුපියල් හතළිස් නව ලක්ෂ එකොළොස් දහස් එකසියයක (49,11,100) මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු තහවුරු කරගත් බව විමර්ශන නිලධාරියෙකු සඳහන් කළේය.


