හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකා ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ බවට වාර්තා වීමෙන් අනතුරුව, ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
එම තත්ත්වයත් සමඟ දෙපාර්ශ්වය අතර ක්‍රියාත්මකව තිබූ තාවකාලික සටන් විරාමය අවසන් වී ඇති අතර, මැදපෙරදිග කලාපය තුළ දැවැන්ත යුද ගැටුමක් ඇති වීමේ අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකාව මෙම නාවික අවහිරතාවය පැනවූ අතර, ජූනි මාසයේ පැවති සාකච්ඡාවලින් ඇති වූ එකඟතාවකට අනුව එය ඉවත් කර තිබුණි. කෙසේ වෙතත්, එම සාකච්ඡා සාර්ථක නොවීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ගැටුම් නැවතත් උත්සන්න වී ඇත.
හෝමුස් හරහා ගමන් කරන නෞකා සඳහා සියයට 20ක ගාස්තුවක් අය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් සැලසුම් කර තිබූ බව සඳහන් වේ. එහෙත් ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීමකට අනුව එම තීරණය වෙනස් කර ඇති අතර, ඒ වෙනුවට එම රටවල් අමෙරිකාව තුළ ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නාවික අවහිරතාවය යළි පැනවීමට පෙර අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන මධ්‍යස්ථාන සහ වෙරළාරක්ෂක ස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.
එම ප්‍රහාර සිදුවූ බව ඉරානය ද පිළිගෙන ඇති අතර, තම ආරක්ෂක හැකියාවන් දුර්වල කිරීමේ අරමුණින් අමෙරිකාව ක්‍රියාකරන බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ලෝකයේ තෙල් සහ ස්වාභාවික ගෑස් ප්‍රවාහනයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින්, එහි ඇතිවන අස්ථාවර තත්ත්වය ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙම මුහුදු මාර්ගය තාවකාලිකව අවහිර වූ අතර, එම කාලය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. පසුව පැවති සාම සාකච්ඡා හේතුවෙන් තත්ත්වය යම් පමණකට සාමාන්‍ය අතට හැරුණද, අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් යළි උත්සන්න වීමත් සමඟ තෙල් මිල නැවතත් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.
මේ වන විට කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා ද විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


