රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති අතිරේක බදු ප්‍රතිශතය ලබන අගෝස්තු 15 වැනිදායින් පසු ඉවත් කිරීමට තීරණය කළහොත්, ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළේ මිල ගණන් පහළ යාමේ හැකියාවක් පවතින බව ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, අගෝස්තු 15න් පසු දැනට පවතින අතිරේක බදු ප්‍රතිශතය කිසිදු වෙනසකින් තොරව දිගටම පවත්වාගෙන යන්නේ නම් වාහන මිලෙහි සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවයි.
වසර පහකට පසුව පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති වූ නමුත්, මේ වන විට එම ඉල්ලුම සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බවද ඔහු පැවසීය.
තවද, වර්තමාන වාහන ආනයන දත්ත පසුගිය වසරේ සංඛ්‍යාත සමඟ සෘජුව සැසඳීම නිවැරදි නොවන බවත්, ඒ සඳහා වාහන ආනයනය සාමාන්‍ය පරිදි සිදු වූ 2019 වසරේ දත්ත භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
රේගු වාර්තාවලට අනුව, මීට පෙර දිනකට වාහන නිදහස් කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු රේගු ප්‍රකාශන සංඛ්‍යාව 800ත් 850ත් අතර පැවති අතර, මේ වන විට එය 300ත් 350ත් අතර මට්ටම දක්වා අඩු වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1070ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇත. එසේම, අප්‍රේල් සහ මැයි මාසවල ක්‍රියාත්මක කළ බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයන පිරිවැය සියයට 20ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
මේ අතර, මෙම මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 180ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. 2019 වසරේදී ශ්‍රී ලංකාවට ආනයනය කළ සමස්ත වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1400ක් ලෙස සටහන් වී තිබේ.


