අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්පාදනය කරන ලද ‘Coffee Table’ ග්‍රන්ථයේ පළමු පිටපත, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ඊයේ (15) අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වසර ගණනාවක් පුරා ගොඩනැගී ඇති ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන, ශ්‍රී ලංකාව වෙත අමෙරිකාව ලබා දුන් විවිධ සහයෝගීතා, මෙන්ම දෙරටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වූ ප්‍රමුඛ පුද්ගලයන්ගේ දායකත්වය මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. එමෙන්ම ඓතිහාසික හා වර්තමාන ඡායාරූප සහ තොරතුරු සටහන් ඔස්සේ දෙරට අතර දිගුකාලීන සබඳතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමටද මෙම ග්‍රන්ථය සමත් වේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තානාපති මහින්ද සමරසිංහ මහතා, ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු පිළිබඳ රාජ්‍ය ලේකම්වරිය දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව දෙරටේ මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද අවධාරණය කළේය.
තවද, නුදුරු කාලයේදී මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරිශීලනය සඳහා සිංහල සහ දමිළ භාෂාවලටද පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු මෙහිදී රාජ්‍ය ලේකම්වරිය වෙත දැනුම් දුන්නේය.
අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ඓතිහාසික සබඳතා ලේඛනගත කිරීම සඳහා ගෙන ඇති මෙම මුලපිරීම රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මියගේද ඇගයීමට ලක්විය.
මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ JAAF-SL සංවිධානය ලබා දුන් අනුග්‍රහයද මෙහිදී කෘතවේදීව සිහිපත් කර ඇති අතර, ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම මහජන හා වෙළෙඳ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම ප්‍රකාශනය සැලකේ.


