ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත සඳහා නිල අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් ‘QDENGA’ නම් ඩෙංගු එන්නත භාවිතයට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා අනුමත කර ඇති අතර, මීට පෙර ඩෙංගු ආසාදනය වී තිබුණද නොතිබුණද එය ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන් වේ.
එමෙන්ම, මෙම එන්නත ලබාදීමට පෙර පූර්ව ඩෙංගු පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවද වාර්තා වෙයි.
එන්නත මිලිලීටර් 0.5 බැගින් වූ මාත්‍රා දෙකක් ලෙස මාස තුනක කාල පරතරයකින් ලබාදෙනු ලබයි.
2022 වසරේ සිට ‘QDENGA’ එන්නත ලොව රටවල් 43ක භාවිතය සඳහා අනුමත කර ඇති අතර, මේ වන විට එහි මාත්‍රා මිලියන 32කට අධික ප්‍රමාණයක් ගෝලීය වශයෙන් බෙදාහැර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ කලාප සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර, එන්නත ලබාදීමට පෙර පරීක්ෂණයක් අවශ්‍ය නොවීම හේතුවෙන් ඩෙංගු බහුල ප්‍රදේශවල මහජන ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලටද එය ඇතුළත් කර ඇත.
තවද, ‘QDENGA’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් (Prequalification) ද හිමිකරගෙන ඇති අතර, ඒ මඟින් එහි ජාත්‍යන්තර ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාවය තහවුරු කර ඇති බව සඳහන් වේ.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම අනුමැතිය ඉන්දියාවේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
මෙම අනුමැතිය ලබාදීමට පෙර, ඩෙංගු බහුල සහ ඩෙංගු නොමැති කලාපවල පුද්ගලයින් 28,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් අදියර I, II සහ III යටතේ සායනික පරීක්ෂණ 19ක් සිදුකර තිබූ බවද වාර්තා වේ.
එමෙන්ම, වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීම සඳහා ඉන්දියාවේ පැවැත්වූ Phase III DEN-302 සායනික පරීක්ෂණයේ ප්‍රතිඵලද මෙම අනුමැතිය ලබාදීමට ප්‍රධාන පදනමක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


