මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධ නඩුවකට දෙවැනි වරටත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායකවරයා සහ හිටපු මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ඊයේ (21) යළිත් දීර්ඝ කළේය.
මෙම නඩුව ගොනු කර ඇත්තේ අයථා ලෙස උපයාගත් මුදල් භාවිත කර මාතර එළියකන්ද (බ්‍රවුන්ස් හිල්) ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදීද බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටින සිව් දෙනාට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
නඩුව ඊයේ (21) පෙරවරු 10.00ට පමණ කැඳවූ අවස්ථාවේදී, මූල්‍ය අපරාධ කොට්ඨාසය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නාලක කොතලාවල මහතා සඳහන් කළේ, නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටින බවත්, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් නඩු විභාගයට සහභාගී වීම මඟහරිමින් සිටින බවත්ය. එබැවින් ඔහුට නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් දීර්ඝ කරන ලෙසද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා, තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නොවන බවත්, විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය වාර්තා සමඟ අධිකරණයට දැනුම් දුන්නේය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නඩුවට පෙනී සිටීමට ඔහු සූදානම් බවද සඳහන් කරමින්, නිකුත් කර ඇති වරෙන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සඳහන් කළේ, තුන්වන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටින තත්ත්වයක් තුළ ඔහුට නිකුත් කර ඇති වරෙන්තුව අවලංගු කිරීමේ නීතිමය බලයක් අධිකරණයට නොමැති බවයි.
මෙම අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ කළහ.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නඩුව ආරම්භ වී වසර 11ක් ගතව තිබියදීත් තුන්වන සැකකරු අධිකරණයේ පෙනී නොසිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව දෙවැනි වරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය. එමෙන්ම මීළඟ නඩු දිනයේදී සැකකරුගේ සියලු වෛද්‍ය වාර්තා ලිඛිත දේශන සමඟ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විත්තියේ නීතිඥවරුන්ට නියෝග කෙරිණි.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා සහ අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිඥවරුන් නව දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.


