30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාව නොවෙයි; මොන ජගතා ඉදිරියේවත් ප්‍රහාරයට තැබූ පය ආපස්සට ගන්නේ නෑ

ඉන්දියාව නොවෙයි; මොන ජගතා ඉදිරියේවත් ප්‍රහාරයට තැබූ පය ආපස්සට ගන්නේ නෑ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී මේ වන විට ශ්‍රී ලංකාව තරග දෙකකට සහභාගී වී ගෝල් 2ක් රැස් කර සිටින අතර, ඉන්දියාව බංග්ලාදේශයට එරෙහිව එක් ගෝලයක් ලබා සිටී.

දෙරට අතර පාපන්දු ඉතිහාසයේ මෙතෙක් තරග 16ක් පවත්වා ඇති අතර, එයින් ඉන්දියාව තරග 9ක් ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 3ක් ජය ගෙන සිටී. වසර 1989 සිට දෙරට අතර පැවැති තරග අතුරින් 4ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. වසර 2000දී පැවති ගෝල්ඩන් ජුබිලි පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ඉන්දියාව පරාජය කිරීම ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලැබූ අවසන් ජයග්‍රහණය වන අතර, 2018 දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ගෝල් 2-0කින් ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාව පරාජයට පත් කළේය.

මේ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති තරග රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කොට ප්‍රහාරාත්මක ක්‍රමවේද අනුගමණය කරමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට පිවිස සිටින අතර, එම ක්‍රමය ඉන්දියාවට එරෙහි තරගයේදීද ක්‍රියාවට නංවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙර්රා පැවසීය. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වෙනස් විය යුතු කාලය එළැඹ ඇති හෙයින් අවදානම නොසලකා ජයග්‍රහණ කරා යෑමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායකයා පැවැසීය.

“අපට දැන් තියෙන්නේ ජයග්‍රහණ සොයන්නයි. පසුගිය තරගයේ දී අපි ඉදිරියට ඇවිත් දැඩි ප්‍රහාර එල්ල කොට තරග කළා. ඉන්දියාවට එරෙහි තරගයේ දී එම තීරණය අපි ආපස්සට ගන්නේ නෑ. මොකද ඉදිරියට පැමිණ ප්‍රහාර එල්ල කිරීමේ රටාවට අවතීර්ණ වීම අප රටක් හැටියට ගත් තීරණයක්. මේ වෙනස අවශ්‍ය කාලයේ දී ගත් තීරණයක්. ඉන්දියාව නොවෙයි මොන රටක් ඉදිරියේදීවත් මේ තීරණය වෙනස් කරන්නේ නෑ. අපට දැන් පාපන්දු ජයග්‍රහණ අවශ්‍යයි. ඉන්දියාව මේ තරගාවලියේ එක් තරගයක් ක්‍රිඩා කොට තිබෙනවා. අප තරග දෙකක් ක්‍රීඩා කොට තිබීමත් යම් වාසියක්” සුජාන් පෙරේරා පැවැසීය. තම කණ්ඩායමේ ක්‍රීඩකයන් 5ක් පමණ නේපාල තරගයේදී යම් යම් ආබාධවලට ලක්ව සිටින බවත්, ඊයේ සවස පැවැත්වෙන පුහුණු සැසියෙන් පසු ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබද තීරණයක් ගැනීමට සූදානමින් සිටින බවත් සුජාන් පෙරේරා පැවැසීය. එමෙන්ම නේපාල තරගයේදී කහ කාඩ්පත් අවවාද 2ක් ලැබූ චමෝද් දිල්ෂාන්ට අද තරගය අහිමි බවත් ශ්‍රී ලංකා පාපන්දු නායකයා සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු බොස්නියා ජාතික අමීර් ඇලජික් මහතා පැවසූවේ අද දිනය ශ්‍රී ලංකා පාපන්දුවට ඉතා වැදගත් වන බවය. ඉන්දියාව පරාජයට පත්කොට කලකට පසු පාපන්දු ජයක් සොයා ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන බවයි. “ඉන්දීය කණ්ඩායම පිළිබඳ අප අඩුවන් තක්සේරු කරන්නේ නෑ. ඉන්දීය පිලට හොඳ පීඩනයක් දුන්නොත් තරගයේ ප්‍රතිඵලය අපට වාසිදායක වන අයුරින් නිමා කිරීම අපහසු නෑ. අප අද තරගයේ වැරදි අඩුවෙන්ම කළ යුතුයි” ඔහු අවධාරණය කළේය.

කණ්ඩායම් 5ක් සහභාගී වන දකුණු ආසියා පාපන්දු තරගාවලියේ මේ වනවිට සහභාගී වූ තරග දෙකම ජය ගෙන නේපාල කණ්ඩායම ලකුණු 6ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, බංග්ලාදේශය තරගයක් ජය ලබා දෙවැනි ස්ථානයේ සිටී. ඉන්දියාව, ශ්‍රී ලංකාව හා සත්කාරක මාලදිවයින මේ වනතුරු තරග ජයග්‍රහණ වාර්තා කොට නැත. මේ තරගාවලියේ මූලික වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් තරගය සුදුසුකම් ලබනු ඇත.