දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයාගෙන් පසුව එම පක්ෂයේ නායකත්වය සඳහා තමන් සුදුසු බවත් එම තනතුර බාර ගැනීමට සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා 12 දා පැවසීය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පක්ෂයේ නායකයාගෙන් පසුව එහි නායකත්වය සඳහා තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් ඇති බවයි.
”දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා යහපාලන ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළා. නමුත් ඉන් ලැබුණු දෙයක් නෑ. මේ සඳහා සම්පන්ධන් මන්ත්‍රීවරයා පෙරමුණ ගත්තා. නමුත් ජනතාවත් එක ස්ථාවරයක නෑ. ඔවුන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා.
යහපාලන ආණ්ඩුව බිද වැටුණා. ඒ බිද වැටීමේ ආදීනව දෙමළ ජාතික සන්ධානයටත් උදා වුණා. ඒ ආණ්ඩුවේ දිරාපත් වීමේ ස්වභාවය අපේ පක්ෂයටත් බලපෑවා. නමුත් මේ වන විට දෙමළ ජාතික සන්ධානය ඉතාම ශක්තිමත් වී තිබෙනවා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විකුණමින් අපි විවිධ ආණ්ඩුවලින් වරප්‍රසාද ලබා ගන්නා බවට බොහෝ දෙනෙක් අපිට දේශපාලමනය වශයෙන් චෝදනා එල්ල කරනවා. නමුත් එවැන්නක් සිදු වන්නේ නැහැ. දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සඳහාම පක්ෂය නිරන්තරයෙන්ම පෙනී සිටිනවා.
දැනට පක්ෂයේ නායකත්වය ඉතා හොඳින් පක්ෂය මෙහෙයවනු ලබනවා. අනාගතයේදී මේ පක්ෂයේ නායකත්වයට මම සුදුස්සා බව බොහෝ දෙනකු පිළිගන්නවා. මම ඒ තනතුර බාර ගෙන කටයුතු කිරීමට සූදානම්”
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ