ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කළ පාසල් සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිසුවා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 272,682 (දෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේ) ගේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන විභාගයට මුහුණ දුන් සිසුන්ගේ නම ඇතුළත් කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂා කර බැලීමට හැකිවන ලෙස වෙනම වෙබ් ප්‍රවේශයක් සකස් කිරීමට සමත්ව තිබේ.
ඔහු ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන සිසුවෙකි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 06 වැනිදා ලද පැමිණිල්ලකට අනුව කළ දීර් ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මේ සිසුවා හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පමණි.
ඒ හැරුණු කොට කිසිදු විටෙක නමක් පරීක්ෂා කිරීමකින් විභාග ප්‍රතිඵලදීමක් සිදු නොකරමින් රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
එහෙත් මේ සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය හැක්කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස් කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කර බැලීමට හැකියාව පවතී.
විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නම් දන්නා කොටස ඇතුළත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියලු අපේක්ෂකයන්ගේ නම් පෙන්වන අතර, ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.
සැකකාර සිසුවාගේ දෙමාපියන් ගුරුවරුන් දෙපලකි.


