මඩකලපුව, ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 2කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.
ගනුදෙනුකරුවෙකු රන් සුරැකුම් ණය ලබා ගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට දැන ගැනීමට ලැබී ඇත.
අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්යාලයට කළ පැමිණිල්ලක් අනුව එම රාජ්‍යය බැංකුවට අයත් මඩකලපුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂාවේදී එම ගනුදෙනුකරු උකස් තැබූ රන් භාණ්ඩ තොගයට අමතරව තව ත් ගනුදෙනුකරුවන් දොළොස් දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගත වී ඇති බවට දැනගන්නට ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ ය.
2022 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා රන් සුරැකුම් ණය ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තැබූ රන් භාණ්ඩ මෙලෙස අස්ථානගත වී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගත වීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත පැමිණිලි කර ඇත.
ගනුදෙනුකරුවන් විසින් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
රුපියල් කෝටි දෙකකට අධික වටිනා රන් භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා යාමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.
#mawbima