ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මල්වතු මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.
මල්වතු මහා විහාරයේ තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා.
අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.


