― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනරජ පෙරහැර හෙට මහනුවරදී

ජනරජ පෙරහැර හෙට මහනුවරදී

75 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ජනරජ පෙරහර හෙට (19) මහනුවරදී පැවැත්වෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ හෙට පස්වරු 6.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් පෙරහැර ආරම්භ වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම පෙරහර පැවැත්වෙනවා. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ පෙරහරේ කටයුතු සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර නිදහස් සමරුව නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පැවැත්වූ පුරාවස්තු හා ඓතිහාසික ලේඛන පිළිබඳ ප්‍රදර්ශනය, යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කිරීම එම වැඩසටහන් අතර වන බව සෝමරත්න විදානපතිරණ කියා සිටියා.

පස්වරු 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බවයි ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල මහතා කියාසිටියේ.

වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නමුත් මෙම පෙරහරේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමක් සිදු නොකරන අතර ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා තිබෙනවා. රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කරනු ලබන්නේ රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණයි.

මෙම ආකාරයට සංවිධානය කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හී ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කර ගනිමින්. 1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණීමෙන් පසුව ජනරජ පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන්.

1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත් වූ අතර එය නැරඹීම සඳහා ද දෙවන එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර නරඹා තිබෙනවා. 1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා තිබෙනවා.