― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජෝෂප් මයිකල් පෙරේරාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

ජෝෂප් මයිකල් පෙරේරාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට (30) පෙරවරු 9ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.

ඒ අනුව පෙරවරු 8.45 වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි පැමිණීම අපේක්ෂා කරන බවයි මහලේකම්වරයා කියාසිටියේ.

පෙරවරු 9ට පමණ ගරු ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය රැගත් අවමංගල රථය පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසළට පැමිණීමට නියමිතයි. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර විසින් දේහය බාරගෙන වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමට නියමිතය.

දේහය පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා එහි තැන්පත් කර තැබෙන බවද මහ‍ ලේකම්වරයා සඳහන් කළා. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහද ජෝශප් මයිකල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, තානාපති නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට සහභාගීවන ලෙස මහ ලේකම්වරයා දැනුම් දෙනවා.

1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළා.

1964-1967 ජා-ඇල නගර සභාවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඔහු පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වී 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.

1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කරනු ලැබුවා.

ඉන් අනතුරුව ජෝශප් මයිකල් පෙරේරා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක්ද හොබවා තිබෙනවා.