වගාවන්ට හානි කරන වල් ඌරන්, මොනරුන්, ඉත්තෑවන්, දඬු ලේනුන් හා රිලවුන් වැනි සතුන් පිළිබඳව ප්‍රශ්නයක් ඇත්නම් ඔවුන් අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට ප්‍රධාන අපනයන භෝගය වන පොල් වගාවට විශාලතම හානිය සිදු වන්නේ වඳුරන්ගෙන් සහ දඬු ලේනුන්ගෙන්ය.
2022 ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ රිලවුන්, ඉත්තෑවන් සහ දඬු ලේනුන් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 අවසන් වනවිට මෙම සංඛ්‍යාව පොල් මිලියන 180-200 දක්වා ඉහළ යා හැකි බවත් එම වාර්තා පෙන්වා දෙයි.
මෙම සතුන්ගෙන් අනෙකුත් වගාවන්ට ද හානි සිදුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
එම සත්ත්වයින් චීනයට අපනයනය කළ හැකිද යන්න සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් අමාත්‍යවරයා විසින් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම චීනයට පමණක් නොව ඇමරිකාවට සහ යුරෝපීය රටවල් රැසකට ද රිලවුන් අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම රිලවුන් චීනයට අපනයනය කළහොත් එම සතුන් චීනයේ සත්වෝද්‍යාන 1000කට ලබා දෙන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවේ. කෙසේනමුත් මෙම සතුන් චීනයට ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෝ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.