විදේශ රටක නිෂ්පාදිතව මෙරටට ආනයනය කර තිබූ සැකකටයුතු RBD පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ පස්වරුවේ පියවර ගත්තේය.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී අදාළ පොල්තෙල් තොගය අඩංගු කන්ටේනර් රථය සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී තිබේ. කැකිරාව මාංකඩවල ප්‍රෙද්ශයේ ව්‍යාපාරික ස්ථානයක ගාල්කර තිබියදී මෙම රථය සොයාගෙන ඇත.
කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකු විසින් එම ආනයනික පොල්තෙල් තොගය කැකිරාව ප්‍රදේශයට රැගෙනවිත් තිබූ අතර එවා මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ නිසි තත්ත්ව වාර්ථා ඉදිරිපත් කිරීමට අදාළ ව්‍යාපාරිකයා එම අවස්ථාවේ අසමත්වීම හේතුවෙන් එම පොල් තෙල් තොගය සිය භාරයට ගැනීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.
මෙලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23500ක් වන අතර විදේශ රටක නිෂ්පාදිත එම RBD පොල්තෙල් තොගයේ වෙලදපල වටිනාකම රැපියක් කෝටි එකහමාරක් පමණ වන බවට සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කර ගෙන තිබේ. අදාළ RBD පොල්තෙල් තොගය කැකිරාවට රැගෙනවිත් ඇත්තේ මිනිස් පරිභෝජනය සදහා පොල්තෙල් ලෙස අලෙවි කිරීමට බවට සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව එම ආනයනික සැකකටයුතු පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න සොයා බැලීමට කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ පොල්තෙල් තොගයෙන් සාම්පල ලබා ගැනීමටත් එම සාම්පල රසායනාගාර පරීක්ෂාව සදහා අනුරාධපුර ආහාර රසායනාගාරයේ රජයේ අනුමත අතිරේක රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
අදාළ RBD පොල්තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ රසපරීක්ෂක වාර්තා ලැබෙනතෙක් එම සැකකටයුතු පොල්තෙල් තොගය අඩංගු කන්ටේනරය මුද්‍රා තැබීමටද කැකිරාව සෞඛ්‍ය බලධාරීහු එහිදී පියවර ගනු ලැබීය.