ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මේ මස 31 දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉල්ලයි.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය දේපළ නීතිවිරෝධී ලෙස තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කාලසීමාව ඉක්මවා එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී ජනාධිපති මන්දිරය තුළ පැවැති ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ඇතුළු කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බවයි ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකතන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසත්, ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයා ගැනීමට මහජනතාව දක්වන සහය ඉතා අගය කොට සලකන බවත් ජනාධිපති ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.