ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ලැබුණු සැනින් මෙම මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වූ තම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (08) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.
මෙම මරණ පරීක්ෂණය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියා.
මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ මරණයට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ කටයුතු ඉදිරියටත් සිදුකරමින් පවතින බවයි.
ඊට අදාළව තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට අවශ්‍ය බව එම කමිටුව විසින් දැනුම්දී ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය අදාළ කමිටුව විසින් වාර්තාව කඩිනමින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද කියා සිටියා.
එම විශේෂඥ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම මරණයට හේතු වූ කරුණු පිළිබඳ තම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියා.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව DNA වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බවත් ඒය කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ වාර්තා කැඳවීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියෝග කෙරුණා.


