කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, කන්කසන්තුරය – මන්නාරම – කල්පිටිය සහ මාතර – හම්බන්තොට – පොතුවිල් අතර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ අවස්ථානුකූලව රළු ස්වභාවයක් ගත හැකි බව සඳහන් කරයි.
තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 සිට 2.5 දක්වා උසකින් ඉහළ යාමේ අවදානමක් ද පවතින බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, ධීවර හා නාවික ප්‍රජාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත්ව සිටින ලෙසත් ඉල්ලා සිටී.


