ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍ය වෘත්තියේ නිරත පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය වෘත්තීයවේදීන්ට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව ඉන්දියාවේ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවත්, දේශපාලන ක්ෂේත්රයේ නිරත පුද්ගලයින්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට වඩා ඉහළ මට්ටමක පවතින බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේ, පසුගිය වසර 50ක කාලය තුළ මෙරට පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කළ දේශපාලකයින් පිළිබඳව සිදු කළ සමාජ සමීක්ෂණයක තොරතුරු අනාවරණය කරමිනි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, ඉන්දියාවේ සිදු කළ පර්යේෂණයකින් ද වෛද්‍යවරුන්ගේ සහ දේශපාලකයින්ගේ ආයු කාලය සම්බන්ධයෙන් මෙවැනිම වෙනසක් හඳුනාගෙන ඇති බවයි.
අදාළ සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට ප්‍රධාන පෙළේ දේශපාලකයින්ගෙන් සියයට 65කට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ඉක්මවා ජීවත් වී ඇති අතර, සියයට 10කට වැඩි පිරිසක් වයස අවුරුදු 75 ඉක්මවා ජීවත් වී තිබේ. එමෙන්ම සියයට 5කට ආසන්න පිරිසක් වයස අවුරුදු 80 ඉක්මවා ජීවත් වන බව ද අනාවරණය වී ඇත.
දේශපාලකයින් අතර පිළිකා වැනි රෝග හේතුවෙන් සිදුවන මරණ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවත්, අඩු වයසින් මියගිය දේශපාලකයින්ගෙන් බහුතරයක් හදිසි හෘදයාබාධ, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හෝ අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
දේශපාලකයින්ට පාර්ලිමේන්තු වරප්‍රසාද සහ වෛද්‍ය රක්ෂණ පහසුකම් යටතේ මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහල්වලින් මෙන්ම විදේශීය රෝහල්වලින් ද උසස් මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වීම, ඔවුන්ගේ දීර්ඝායුෂ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ණය බර, බදු බර, දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ සෞඛ්‍ය වියදම් වැනි ආර්ථික ගැටලු දේශපාලකයින්ට සාපේක්ෂව අඩුවීම හේතුවෙන් ඔවුන්ට මානසික ආතතියෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත්, නිරෝගී ජීවන රටාවකට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලැබීම, පවුලේ සාමාජිකයින්ගේ සහ හිතවතුන්ගේ රැකවරණය මෙන්ම දේශපාලන කටයුතුවලින් බැහැර අවස්ථාවලදී සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට ලැබීම ද මෙම තත්ත්වයට හේතු වන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
1977 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ත්‍රස්තවාදී ප්‍රහාර හෝ හදිසි අනතුරු හේතුවෙන් ජීවිත අහිමි නොවූ බොහෝ දේශපාලකයින් වයස අවුරුදු 80 ආසන්න වන තෙක් ජීවත් වී ඇති බවයි.
මෙම සමාජ සමීක්ෂණය පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයන සිදුකරමින් පවතින බවත්, ඉදිරි මාස හයක කාලය තුළ ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


