කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේ අද (15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මූලික විමර්ශනවලට අනුව, අත්අඩංගුවට ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා පළාගොස් ඇත.
ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් දැවමොට්ටාව ප්‍රදේශයේදී ඔහු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අවස්ථාවේදී, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට ගොස් ඇත.
එම අවස්ථාවේ අනෙක් නිලධාරියා සමඟ සිටි සැකකරු හදිසියේම ක්‍රියාත්මක වී, එම නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය උදුරාගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. අනතුරුව ඔහු වෙනත් යතුරුපැදියකින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන හා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.


