ශ්‍රී ලංකාවට මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා කාලය තුළ පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,236,695 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම සංඛ්‍යාව මෙරට සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන වැදගත් දර්ශකයක් ලෙස සැලකේ.
එමෙන්ම, ජූලි මාසයේ 1 වැනිදා සිට 15 වැනිදා දක්වා පමණක් විදෙස් සංචාරකයන් 90,122 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය සහ චීනය යන රටවලිනි.
තවද, මේ වසර තුළ වැඩිම විදෙස් සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 279,328ක් ලෙස සටහන් වී ඇත. ජනවාරි මාසයේදී ද විදෙස් සංචාරකයන් 277,327 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.


