2026 වසරේ මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශක (NCPI) වාර්තාවෙන් අනාවරණය වේ.
එම වාර්තාවට අනුව, මැයි මාසයේ සියයට 5.4ක් ලෙස වාර්තා වූ මතුපිට උද්ධමනය ජූනි මාසයේදී සියයට 6.5 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වර්ධනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ සියයට 1.5 සිට ජූනි මාසයේදී සියයට 3.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද සියයට 8.6 සිට සියයට 9.3 දක්වා වර්ධනය වී තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය මැයි මාසයේ 218.8ක් ලෙස සටහන් වූ අතර, ජූනි මාසය වන විට එය 222.3 දක්වා ඉහළ ගොස් ඇත. එය පෙර මාසයට සාපේක්ෂව සියයට 1.6ක මාසික වැඩිවීමක් ලෙස දැක්වේ.
වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම මාසික වැඩිවීමට ආහාර කාණ්ඩය සියයට 1.11ක දායකත්වයක් ලබා දී ඇති අතර, ආහාර නොවන කාණ්ඩය සියයට 0.49ක දායකත්වයක් ලබා දී තිබේ.
ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වැනි අස්ථාවර මිල ගණන් සහිත අයිතම ඉවත් කර ගණනය කරන යටිදැරි උද්ධමනය ද ඉහළ ගොස් ඇති අතර, එය මැයි මාසයේ සියයට 4.3 සිට ජූනි මාසයේදී සියයට 5.0 දක්වා වර්ධනය වී ඇත.
තවද, ප්‍රවාහන වියදම්වල සැලකිය යුතු ඉහළ යාමක් ද වාර්තා වී තිබේ. එම අංශයේ උද්ධමනය මැයි මාසයේ සියයට 16.9 සිට ජූනි මාසයේදී සියයට 20.6 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, නිවාස, ජලය, විදුලිය සහ ගෑස් යන අංශවල උද්ධමනයේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන අතර, එය මැයි මාසයේ සියයට 8.2 සිට ජූනි මාසයේදී සියයට 7.3 දක්වා අඩු වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.


