අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මෙම තීරණය පසුගිය බදාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විපක්ෂය විසින් අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය 21 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබූ අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වගකීම නිසි පරිදි ඉටු නොකළ බවට චෝදනා කරමින් එය ඉදිරිපත් කර ඇත.
අද පාර්ලිමේන්තු කටයුතු අනුව උදෑසන 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 යටතේ සඳහන් කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
ඉන් අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ හේතුවෙන් අද දිනයේ විවාදයට ගැනීමට සැලසුම් කර තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පසුව නියම කරනු ලබන දිනයක විවාදයට ගැනීමට තීරණය කර ඇත.


