27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවත්මන් වැඩපිළිවෙල වෙනස් කළොත් රට යළි අගාධයට යනවා

වත්මන් වැඩපිළිවෙල වෙනස් කළොත් රට යළි අගාධයට යනවා

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කළ හොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පළ වුවත්, ආර්ථික වර්ධනය සෘණ 08ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කල මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 361ක හිඟ බිල්පත් ගෙවා තිබෙන බවත්, ද්වීපාර්ශ්වීය ණය හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු තිබෙන සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට හැකි වන බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගිය සමයේ වැටී තිබූ රට යළි ගොඩ නැඟීමේ කාර්ය භාර්ය අභියෝගාත්මක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරගැනීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් වූ ගිවිසුමට එළඹුණා. අනතුරුව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සාකච්ඡා සඳහා යොමු වුණා. එම තත්ත්වය තුළ මේ වසර වන විට රට සහනදායී ආර්ථික පිළිවෙතකට පැමිණ සිටිනවා. එම තත්ත්වය සම්බන්ධයෙන් අකමැත්තෙන් වුවත් සියලු දෙනාටම පිළිගැනීමට සිදුව තිබෙනවා.

එමෙන්ම එවකට ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් හාරසියයට ආසන්න අගයක් ගත්තා. නමුත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 300 දක්වා පහලට පැමිණ තිබෙනවා. ඒ නිසා සියලු ආනයන භාණ්ඩ සඳහා ගෙවිය යුතු වන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ වගේම බින්දුවට සිඳී තිබූ දළ නිල විදෙස් සංචිතය අද වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා වැඩි වී තිබෙනවා. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. ඒ අනුව රුපියල ශක්තිමත් වී තිබෙනවා. භාණ්ඩ රැසකම මිල ගණන් අඩු වී තිබෙනවා. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වී තිබෙනවා.

එමෙන්ම පොලී අනුපාතය පහත වැටී තිබෙනවා. 70% තිබුණු උද්ධමනය 6%ට දක්වා පහත වැටී තිබෙනවා. ඒ සමඟ බඩු මිල වැඩිවීමේ වේගය අඩු වී තිබෙනවා. ඒ අනුව පැවති අහිතකර සහ භයංකර තත්ත්වයෙන් රට ගොඩවිත් තිබෙන බව කිව යුතුයි. කුමන ආණ්ඩුව බලයට පැමිණියත් වර්තමාන නව මහ බැංකු පනත අනුව මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම තහනම් කර තිබෙනවා. එමඟින් මූල්‍ය කළමනාකරණයේ විනය පවත්වා ගෙන යාමට හැකි වී තිබෙනවා.

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කාරණයක් වන්නේ රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක් වනවා. රටට අනාගතයක් නැති වෙනවා. මෙරට දුප්පත්ම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වී තිබෙනවා. ආර්ථික වර්ධනය සෘණ 08ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවෙයි. දුප්පත්කම නැතිවීමට නම් රටේ ආදායම් ඉහල ගොස් ආර්ථිකය වර්ධනය විය යුතුයි.

කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශයන්ගේ දියුණුවක් ඇති විය යුතුයි. ආර්ථික වර්ධන අනුපාතය වැඩි වූ විට, ඒක පුද්ගල අදායම ඉහල ගිය විට දුප්පත්කම අඩු වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වත්මන් වැඩ පිළිවෙල තුළ පසුගිය අර්බුද සමයේ ආර්ථික වශයෙන් අවධානමට ලක්වූ, එනම් දුප්පත්ම ජන කොටස පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සමෘද්ධිය සඳහා වෙන්කල මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි දැළක් වශයෙන් ක්‍රියා කරමින් සමාජ ආරක්ෂණයක් ඇති කිරීම සඳහා බව පෙන්වා දිය යුතුයි. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 361ක හිඟ බිල්පත් ගෙවා තිබෙනවා. නව කොන්ත්‍රාත් සඳහා බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පසු මාස තුනක් තුළ ඒවා ගෙවා අවසන් කල යුතු වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවැනි මූල්‍ය විනයක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා. එමෙන්ම ජූනි මාසය වන විට ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ අවසාන ගිවිසුම් අත්සන් කරනවා. ඉන් අනතුරුව නතර වී තිබෙන සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමට හැකි වනවා.