මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඉන්දීය ජාතික රැඳවියෙකුත් මරුට
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්රචණ්ඩ ගැටුම හේතුවෙන් ඉන්දීය ජාතික රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතික රැඳවියෙකි.
මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, සිද්ධිය පිළිබඳ වාචික සටහනක් ඉන්දීය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බවද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය මෙම ගැටුම ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සිදුවූ දරුණුතම සිදුවීම් අතරින් එකක් ලෙස හඳුන්වා දී ඇති අතර, එම ගැටුමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 28 දක්වා ඉහළ ගොස් තිබේ.
ජීවිතක්ෂයට පත්වූවන් අතර බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු සහ රැඳවියන් විසිදෙනෙකු සිටින බව සඳහන් වේ. තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, කොළඹ ජාතික රෝහලේ පමණක් බරපතළ තත්ත්වයේ රෝගීන් 19 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
මීගමුව බන්ධනාගාරයේ මියගිය ඉන්දීය ජාතික රැඳවියා සම්බන්ධයෙන් මෙන්ම එහි සිටින අනෙකුත් ඉන්දීය ජාතික සිරකරුවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත කළ විමසීම්වලට මෙතෙක් නිශ්චිත පිළිතුරු ලැබී නොමැති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මේ අතර, ආරක්ෂක හේතු මත මීගමුව බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 1,200කට ආසන්න පිරිසක් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.


