පැයට කිලෝමීටර 200ක වේගයෙන් ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට
ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ප්‍රබල ‘බාවි’ සුළි කුණාටුව පැයට කිලෝමීටර 200කට ආසන්න වේගයකින් තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපෑ හැකි ප්‍රබලතම සුළි කුණාටුවක් ලෙස සැලකෙන මෙය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.
චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, කිලෝමීටර 1,000ක පමණ විශාල වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, ඉදිරි සෙනසුරාදා සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ළඟා වීමට පෙර උතුරු තායිවානය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවයි.
තායිවාන කාලගුණ බලධාරීන් පවසන්නේ ‘බාවි’ සුළි කුණාටුව 1987 වසරෙන් පසුව එරටට බලපාන විශාලතම කුණාටුවක් වන අතර, මෑත කාලයේ මෙතරම් විශාලත්වයකින් යුත් සුළි කුණාටු වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙන් බවයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානය වැනි රටවල් දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ අවදානම වැඩි වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙවර පවතින ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් සාගර ජල උෂ්ණත්වය ඉහළ යාම, මෙවැනි ප්‍රබල සුළි කුණාටු වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත.
තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ සිය ෆේස්බුක් ගිණුම හරහා ජනතාවට දැනුම් දී ඇත්තේ, දින තුනකට ප්‍රමාණවත් ආහාර, විදුලි පන්දම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත හදිසි ආපදා බෑගයක් (Emergency grab bag) සූදානම් කර තබා ගන්නා ලෙසයි.
මේ අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ඔකිනාවා දූපත් ප්‍රදේශයේ ජනතාවට දැඩි සුළං, නායයෑම්, ගංවතුර සහ මුහුදු රළ ගොඩගැලීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබේ.
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ පර්යේෂක ෂියැන්ග්බෝ ෆෙන්ග් සඳහන් කරන්නේ, මෙම කුණාටුව සාගරය තුළ දිගු කාලයක් පැවතීම හේතුවෙන් උණුසුම් මුහුදු ජලයෙන් විශාල ශක්තියක් සහ තෙතමනයක් ලබාගෙන ඇති බවයි.
ඒ හේතුවෙන් එය ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේ සිදුවිය හැකි බලපෑම ඉතා විනාශකාරී මට්ටමකට (Catastrophic) පත්විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
කුණාටුවේ ගමන් මාර්ගයේ සිදුවන සුළු වෙනසක් පවා විශාල හානි ඇති කළ හැකි බවද ෂියැන්ග්බෝ ෆෙන්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.


