ඒඩ්ස් රෝගය හැර අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ආසාදිතයන් දසදහසකට අධික පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි. මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළදීය.
එම වාර්තාවලට අනුව හර්පීස්, ගොනෝරියා, උපදංශය (සිෆිලිස්), ලිංගික ඉන්නන් ඇතුළු ලිංගාශ්‍රිත රෝග ආසාදිත පුද්ගලයන් 10,032 දෙනකු හඳුනාගෙන තිබේ.
වාර්තා වූ දත්ත අනුව හර්පීස් ආසාදිතයන් 2,920 දෙනකු, ලිංගික ඉන්නන් ආසාදිතයන් 2,284 දෙනකු, සිෆිලිස් රෝගීන් 1,289 දෙනකු, ගොනෝරියා ආසාදිතයන් 692 දෙනකු සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ආසාදිතයන් 2,847 දෙනකු වාර්තා වී ඇත.
එමෙන්ම පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ඒඩ්ස් ආසාදිතයන් 874 දෙනකු ද හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
ලිංගික ප්‍රදේශවල තුවාල, බිබිලි, වේදනාකාරී තත්ත්වයන්, ගැටිති හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණ ඇතිවීම මෙන්ම දින තුනකට වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අනාරක්ෂිත ලිංගික සබඳතාවල නිරත වන පුද්ගලයන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මඟින් මෙම රෝග තත්ත්වයන් පාලනය කරගත හැකි බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
මෙවැනි පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා KNOW4SURE.LK වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි බවද එම වැඩසටහන වැඩිදුරටත් දැනුම් දෙයි.


