යල කන්නයේ ගොවීන් සඳහා රුපියල් මිලියන 46,006ක සහන ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක පවසයි
ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් පොහොර සහනාධාර, වාරි ජල පහසුකම්, වගා හානි සඳහා වන්දි ඇතුළු සහන රැසක් රජය මඟින් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යල කන්නයට අදාළ වී මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳ මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පසුගිය 13 වැනිදා ආරම්භ කළ බවත්, වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 148ක් භාවිත කරමින් වී මිලදී ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට වව්නියාව දිස්ත්‍රික්කයේ වැලිපොළ, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පන්නන්කන්ඩි, මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි, මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරනාරු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල, මාන්තෝට්ටම, කරුන්කාඩු, අල්මුනෙයිරා, මිහිඳුපුර, පාලම්කඩවල හා දමන යන ප්‍රදේශවල පිහිටි ගබඩාවලින් වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.
දැනට එක් ගොවියෙකුගෙන් උපරිම වශයෙන් වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගන්නා බවත්, වී මිලදී ගැනීම ආරම්භ කළ ජූලි 13 වැනිදා පමණක් රුපියල් මිලියන 3කට ආසන්න වටිනාකමකින් යුතු වී කිලෝග්‍රෑම් 25,409ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
රජය සමස්තයක් ලෙස මෙට්‍රික් ටොන් 39,500ක පමණ වී ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
වී ගබඩා කිරීම සඳහා රජයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පෞද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව ලබාගෙන වී ගබඩා කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ දත්ත සහ නිර්දේශ සැලකිල්ලට ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
යල කන්නයේදී පමණක් ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 46,006ක මුදලක් වෙන්කර ඇති බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇති අතර, පෞද්ගලික අංශය හරහා ණය ක්‍රමයක් යටතේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 10,000ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


