රත්මලාන ගුවන්තොටුපළෙන් අද (15) පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් පැටලීමේ සිද්ධියක් හේතුවෙන් ආරක්ෂිතව නැවත ගොඩබස්වා තිබේ.
පසුව සිදු කළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වූයේ යානයේ වම්පස රෝදය, වම්පස එන්ජිම සහ තවත් කොටස් කිහිපයක විශාල ප්‍රමාණයේ සරුංගල් නූල් පැටලී තිබූ බවයි.
ගුවන් හමුදාව සඳහන් කරන්නේ, සරුංගල් නූල් හෝ එහි කොටස් ගුවන් යානයක එන්ජිමට හෝ ක්‍රියාකාරී පද්ධතිවලට ඇතුළු වුවහොත් එය සමස්ත යානයම දරුණු අනතුරකට ලක්විය හැකි බරපතළ අවදානමක් බවයි.
මේ වන විට සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන්තොටුපළ සහ ගුවන් ධාවන පථ ආශ්රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති අතර, එය ගුවන් යානාවල ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් බවද අවධාරණය කරයි.
ජාත්‍යන්තර වශයෙන්ද ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම ගුවන් අනතුරු සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන අතර, එය ගුවන් ගමන් මෙහෙයුම්වලට සෘජු බාධාවක් බව පෙන්වා දී ඇත.
කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට ප්‍රදේශවල සරුංගල් යැවීම මේ වන විට ඉහළ අවදානම් තත්ත්වයක් නිර්මාණය කර ඇති බවද ගුවන් හමුදාව පෙන්වා දෙයි.
එවැනි ක්‍රියා හේතුවෙන් ජීවිත හා දේපොළවලට විශාල හානි සිදුවිය හැකි බැවින්, ගුවන් ගමන් ආරක්ෂාව සහ මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ගුවන්තොටුපළ සහ ගුවන් ධාවන පථ ආශ්රිත කලාපවල සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ගුවන් හමුදාව කාරුණික ඉල්ලීමක් කර තිබේ.


