හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ දෙවන වරටත් පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව යළි වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
ඒ සමඟම, ඔහු වෙනුවෙන් ඇප ලබා දී ඇති ඇපකරුවන් සිව්දෙනාට ද අධිකරණය දැනුම් දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස ද ඔවුන්ට නියෝග කෙරිණි.
මෙම නඩුවේදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා වී ඇත්තේ, මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක පොල් ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදල් භාවිතයෙන් රුපියල් මිලියන 60කට මිලදී ගත් බවටය.
අද (21) දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඒ අනුව අධිකරණය වරෙන්තුව යළිත් නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සැකකරු නඩුවට පෙනී සිටීම මගහරින බව පවසමින් වරෙන්තුව දීර්ඝ කරන ලෙසයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ලබන මස 18 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළේය.
එම දිනයට පෙර සැකකරුට අදාළ සියලු වෛද්‍ය වාර්තා ලිඛිත දේශන සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විත්තියේ නීතිඥවරුන්ට අධිකරණය නියෝග කළේය.


