ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
මෙම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීමයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ලබා දී තිබූ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 51ක මුදල මෙසේ චීනයේ එක්සිම් බැංකුව අත්හිටුවා ඇත.
ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා 2000ක් පමණ අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට සිදුව ඇති අතර කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක් ආවරණය වන පරිදි ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයින් 500 දෙනෙකු පමණ දැනටමත් පිටත් වීමට පටන් ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳුනු පසු අත්හිටුවූ ණය පහසුකම නැවත ලබා ගැනීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාරග පවසයි.


