සංචාරක වීසා මගින් ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රවල රැකියා සඳහා නියෝජිතායතන හා පෞද්ගලික මාර්ගයෙන් කාන්තාවන් විදේශවලට යොමුකිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය කාලය තුළදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට පත්ව ඇති බවත් ඔවුන් වැඩි වශයෙන් ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවලට යොමුවූවන් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
රැකියා නොමැතිව අතරමංව සිටින කාන්තාවන්ගේ වගකීම භාර ගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් එම කාන්තාවන් විවිධ හිරිහැරයන්ට පත්ව සිටින බවට එරටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එවැනි කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේදී ගැටලු පැන නැගී ඇති බවත් ඒ අනුව සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම අත්හිටුවීමට පියවර ගත් බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.


