විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පැවසීය.
මෙම සියලු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව කී රත්නායක මහතා ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.
කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (4) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සබාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය.


