― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පැවැත්වීම පිළිබඳව අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවීමට නියමිතය.

1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකරන ලද උපසම්පදා විනය කර්ම මහෝත්සවය සමග රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වූ අතර වසර 160 ක් පුරා පැවති උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ දිවංගත මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමායි.

ජූලි 21 වන දින මාත‍ලේ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ දී සාමණේරයන් වහන්සේලා 200 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීමට නියමිතය.

මෙවර උපසම්පදා විනය කර්මය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මීළඟ සාකච්ඡාව මැයි 18 වනදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහිදී සියළු රාජ්‍ය ආයතන වෙත පවරනු ලැබූ කාර්යයන්ගේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුම් දුන්නේය.

එම කටයුතු සඳහා ජනාධිපති කාර්යාලයේ අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දුන් ජනාධිපති ලේකම්වරයා මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.