― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝටි තුනහමාරකට විද්ද රාජ්‍ය ආයතන ප්‍රධානියෙකුගේ හඬපටයක් එළියට

කෝටි තුනහමාරකට විද්ද රාජ්‍ය ආයතන ප්‍රධානියෙකුගේ හඬපටයක් එළියට

රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග පවසයි.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේය.