යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දී 54 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (07) ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් දින කිහිපයකට පෙර මොහු පෙම්වතිය කැඳවාගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවත්ය.
එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී තරුණියගේ ඥාතීන් විසින් ඔහුට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.
ඥාතීන්ගේ පහර කෑමෙන් 19 හැවිරිදි තරුණිය ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේදී අද (08) පැවැත්වීමට නියමිතයි.
මියගිය පුද්ගලයා විවාහකයෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වනවා.


