කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ආසන්නයේ රුපියල් ලක්ෂ 270ක මුදලක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු, ඔවුන් ගමන් කළ වෑන් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මුදල උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විශ්වාසදායක හෝ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.
ඒ අනුව, මෙම මුදල සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ ගනුදෙනු හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් මුදලක්ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 59 සහ 54 වන අතර, ඔවුන් සංඝමිත්තා මාවත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
ඔවුන් අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.


